දරුවෙක්නැතිවිමට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ කාන්තාවද?

දරු පැටියෙක් කියන්නේ වාසනාවක් සිරියාවන්ත තෑග්ගක් කියලා අපි හැමෝම දන්නවා.විවාහ පත්වන යුවලක් විශේෂයෙන්ම කාන්තාවකගේ ජිවිතයේ දකින ලස්සනම ලස්සන හීනයක්.පොඩි කාලේ ඉදන්ම බෝනික්කෝ නලවන්නේ ආත්මීයව එන ඒ ආසාව නිසා කියලායි මට නම් හිතෙන්නේ.විවාහ වී වසරක් පසු වූ පසුත් පුංචි කිරිකැටියෙක්ගේ හුරතල් හිනා හඩ ඇහෙන්නේ නැත්නම් ඔන්න ඉතින් දෝෂාරෝපණ එනවා.මේ දෝෂාරෝපන ගොඩාක්ම බලපාන්නේ කාන්තාවට.ඒ වගේම මේ දරුවන් නැතිවීම නිසා පවුල් ගැටුම් ඇතිවෙන්නත් පුලුවන්.මෙම ගැටුම් වලට නම් මූලිකම හේතුව වන්නේ හරි හැටි දැනුමක් නොමැති වීමයි.මොකද ගොඩක් අය හිතන්නේ දරුවෙක් නොමැති වීම කාන්තාවකගේ ප්‍රශ්ණයක් කියලා.ගොඩාක් අය කියන්නේ මේක කාන්තාවගේ මූසලකම කියායි.දරුවන් නොමැති මවක් මුණගැසීමත් අසුබ දෙයක් ලෙස ලාංකික ජනතාව පත් කරලා ඉවරයි.එම කාන්තාවන් මොනතරම් අසරණද?මොන තරම් මානසික පීඩනයකට ලක්වෙනවා ඇති ද?දරුවෙකු නොමැති වීම කාන්තාවගේ මෙන් ම පුරුෂයාගේ යම් කිසි ගැටලුවක්ද විය හැකියි.මෙයට හේතුව මදසරු භාවය විය හැකියි.අපි කලින් ලිපියෙන් කතා කරා මදසරුභාවය කියන්නේ මොකක්ද කියලා.අද ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මදසරුභාවයට හේතු සහ මදසරුභාවය දැනගන්නේ කෙසේද යන්නයි.

                     පිළිසිද ගැනීමක් සිදුවීමට නම් කාන්තාවගේ හෝමෝන ක්‍රියාකාරිත්වය නිවැරදිව සිදුවිය යුතුයි සහ පුරුෂයාගෙන් පිටවන ශුක්‍රානු නිරෝගි විය යුතුයි.කාන්තාවකගේ මසකට වරක් ඩිම්බකෝෂ වලින් ඩිම්බයක් නිකුත් වීම සිදු වෙනවා.මේ පිටවන ඩිමිබය පැලෝපීය නාලය දිගේ ගර්භාෂයට ගමන් කරනවා.මෙම කාලය තුළදී ලිංගික එක්වීමක් සිදුවුවහොත් යෝනි මාර්ගයෙන් ගැබිගෙල හරහා ගර්භාෂයට යන ශුක්‍රාණු ඩිම්බය සමග සංසේචනය වීමෙන් කලලයක් හට ගන්නවා.මේ පුංචි කලලය ගර්භාෂය තුල තැම්පත් වීමෙන් දරුවෙකු ලෙස වර්ධනය වෙනවා.

මදසරු බව දැනගන්නේ කෙසේ ද?

දරුවෙකු බලාපොරොත්තුවෙන් කිසිම උපත් පාලන භාවිතා නොකර ලිංගිකව එක් වූවොත් පලමු මාස තුනේ දී ගැබ් ගැනීමට ඇති සම්භාවිතාවය 30% පමණ වෙනවා.මාස හයක් අවසානයේ දී එම සම්භාවිතාවය 75%ක වන අතර වසරක කාලයක් උත්සහ කලොත් ගැබ් ගැනීමේ සම්භාවිතාවය 90% පමණ වෙනවා.එසේ වසරක කාලයක් උතසාහ කිරීමෙන් අනතුරුවත් දරුවෙකු පිළිසිද නොගන්නේ නම් එයට හේතුව මදසරුබව ලෙස සැලකිය හැකියි.නමුත් හොදට මතක තියාගන්න මදසරුබව කියන්නේ රෝගී තත්වයක් නෙවෙයි.

මදසරුබවට හේතු

  • ඩිම්බ කෝෂ වලින් ඩිමිබ නිසි පරිදි මේරෟම සිදු නොවීම.
  • පුරුෂයාගේ ශුක්‍රාණු වල ප්‍රමාණය අඩු වීම.
  • පුරුෂයාගේ ශුක්‍රාණු වල ගුණාත්මක භාවය අඩු වීම.
  • පැලෝපීය නාල වල අවහිරතා තිබීම.
  • ගර්භාෂය ඇතුලු ප්‍රජනක පද්ධතියේ අසාමාන්‍යය තත්වයන්

ඉතින් මේ ලිපියෙන් ඔයාලාට පැහැදිලි වෙනවා නේද දරුවෙක් නැතිවිමට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ කාන්තාව නොවන බව.මදසරු බවට ප්‍රතිකාර සම මදසරුභාවයදැයි කියා නිවැරදිවම දැනගන්නට පරීක්ෂණ තියෙනවා.ඒ පිළිබදව අපි ඊළග ලිපියෙන් කතා කරමු.එතකම් සතුටින් පරිස්සමෙන් සැහැල්ලුවෙන් ඉන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *