කිරි දෙන ඔබ සතුටින්ද

කිරි දෙන ඔබ සතුටින්ද

බලාපොරොත්තු පොදි බැදගෙන එනකම් ඇගිලි ගැන ගැන හිටිය රන් කැටියා ඔන්න ඔයාගේ තුරුලේ දැන් සුවසේ ඉන්නවා.ලෝකයක් දිනපු තරම් සතුටක් ඔබේ හිතේ දැන් පිනුම් ගහනවා ඇති.පුංචි පැටියා නිසා මුලු ගෙදරම සිරියාවන්ත කමින් පිරිලා තිබුණත් අම්මාගේ හිතේ නම් කලකිරීමක් තියෙනවා.ඒකට හේතුව තමයි පුංචි පැටවුන්ට හැමෝම ආසයිනේ.ඉතින් පැටියෙක් ලැබුණා කීවාම වැල නොකැඩී එනවා මේ පැංචාව බලන්න.මේ අතරින් එන සමහරක් අය ඇවිත් බබා බලලා නිකම් යන්නේ නෑ.අලුත් අම්මාගේ හිතත් ටිකක් හීනියට කොනිත්තලා තමයි යන්නේ.ඉතින් අද ලිපියෙන් අපි කතා කරන්නට යන්නේ කිරි දෙන මවකගේ මානසික සතුට ගැන.

කිරි දෙන මවකගේ හිත් කනස්සල්ලට හේතු

අපි මුලින් කතා කලා වගේ අලුතෙන් පැංචෙක් ආවා කියලා දැනගත්තම වැල නොකැඩී එනවා කට්ටිය මේ පැංචාව බලන්න.ඇත්තටම මේ එන්නේ පැටියට තියෙන ආසාවට ආදරයට වෙන්න පුලුවන්.ඒත් මේ අතරිනුත් සමහරක් අය ඇවිදින් කියන කතා වලට මේ අලුත් අම්මාගේ හිත හොදටම රිදෙන්නත් පුලුවන්.අලුත් අම්මෙක් කියන්නේ හරිම වෙහෙසකාරි චරිතයක්.එයාට මේ හැමදේම අලුත් වගේ ම පලවෙනි පැටියා නම් අවුල් ජාලයක් වගේ පෙනේවි.මොකද අම්මා දරු  ප්‍රසුතියෙන් පස්සේ තාම යථා තත්වයට ඇවිත් නැති නිසා.අම්මාගේ තුවාල වල වේදනාව තවම තියෙනවා.ඒ වගේම පුංචි චන්ඩියා අඩනවා ඒකටත් අලුත් අම්මාගේ හිත හොදටම කලබලයි,දුකයි.පැටියා අඩන්නේ බඩගින්නටද එයාට අපහසුවක්ද කියලා හොයාගන්න අලුත් අම්මාට තවම  අමාරුයි.පැටියාට කිරි දෙන්නත් තවම හරි හැටි තේරුමකුත් නෑ.ඉතින් හිතලා බලන්න කොතරම් අපහසුවකින් මානසික පීඩනයකින් ඉන්නවා ඇතිද?

මේ පීඩනයෙන් ඉන්න අලුත් අම්මාට පැටියා බලන්න එන අයත් හිත රිදෙන්න දේවල් කීවාම මානසික පීඩනය වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නම් නෑ.ඉතින් ඔයාලත් අලුත් පැංචෙක් බලන්න යනවා නම් පැටියා ආව ගමන්ම යන්න එපා.අම්මාටයි බබාටයි එයාලාව අදුරගන්න කාලයක් දෙන්න.ඒ දෙන්නාම මේ අලුත් පරිසරයට හැඩගැහෙනවා.පැටියාව බලන්න ගියත් පැටියා චූටියි නේද?බබාගේ කකුල් හදන්න,නහය හදන්න,ඔලුව හදන්න,බබා කලුයි නේද වගේ හිත රිදෙන දේවල් නම් කියන්න යන්න එපා.ඔයාට පුලුවන් හිත රිදෙන දේවල් වලින් ඈත් වෙලා අලුත් අම්මාගේ හිත හැදෙන දේවල් කියන්න.ඔයා ටිකක් විවේක ගන්න එතකම් මම බබාව ටිකක් බලාගන්නම්,තියෙන වැඩක් කියන්න මම කරලා දෙන්නම් වගේ වචන නම් අලුත් අම්මෙක්ට කනට මීපැණි වක්කරනවා වගේ තියෙයි.එතරම්ම මිහිරියි ඒ වචන.ඉතින් ඔයාලත් මතක තියාගන්න අලුත් අම්මෙක්ගේ කනස්සල්ලට හේතුවක් වෙන්න එපා.

                                                                    අලුත් පැටියා අම්මිගේ බණ්ඩියේ ඉදන් ඇවිත් තාම අලුත් පරිසරයට හුරු වෙන ගමන් ඉන්නේ.එයාට උණුහුම,සීතල,බඩගින්න අපිට කියාගන්න තේරෙන්නේ නෑ එයාගේ හැම අපහසුවක්ම අපිට කියන්නේ අඩලා.ටික කාලයක් යද්දි අම්මාට තේරුම් ගන්න පුලුවන් වෙනවා පැටියා අඩන්නේ මොන හේතුවකටද කියලා.ඉතින් එතකම් නම් ටිකක් අමාරුයි තමයි.අලුත් අම්මෙක් ඉන්නේ අපහසුවෙන් ඇගේ වේදනාවයි තුවාල වේදනාවයි එක්කම පැටියා අඩනකොට අලුත් අම්මාට දුකක් කනස්සල්ලක් එන්න පුලුවන් මේකත් අම්මාගේ මනසට දැඩි ලෙස බලපානවා.

                                                     පැටියෙක් ආවාම අම්මාට උදව් කරන්න ගොඩාක් අය එනවා.ඒ වගේම කිසිම උදව්වක් නැතිව සියලුම වැඩ අම්මාම තනියෙන් කරගන්න අම්මලාත් නැතිවාම නෙවෙයි.එහෙම තනියෙන් වැඩ කරගන්න අලුත් අම්මෙක්ගේ මානසික පීඩනය ටිකක් වැඩියි.බබාගේ වැඩයි ගෙදර වැඩයි පැටියාගේ නොසන්සුන් ඇඩීමත් එක්ක අම්මා නිතරම වගේ කනස්සල්ලෙන් ඉන්නේ.අලුත් මවකගේ හිත් කනස්සල්ලට බලපාන  බහුලම ප්‍රධානම හේතුව තමයි පැටියාට බඩ පිරෙන්න දෙන්න කිරි නෑ කියන එක.අම්මා තවත් මානසිකව වැටෙන්නේ වටාපිටාවේ කතා අහලා.අපිට නම් වැක්කෙරෙන්න කිරි තිබ්බා,ලමයාට බීගන්න බැරි තරම් කිරි එරුනා වගේ කතා නම් හරිම සුලබයි.මුලින්ම අම්මෙක්ට කිරි එරෙන්නේ බොහොම  සුලු ප්‍රමාණයක්.පැටියාට තියෙන්නේ හරිම චූටි බණ්ඩියක්.ඒ බණ්ඩි ගෙඩිය පිරෙන්න අම්මාට එරෙන කිරි ප්‍රමාණය හොදටම ඇති.පැටියා කිරි බොන තරමට තමයි කිරි එරෙන ප්‍රමාණය වැඩිවෙන්නේ.ඒ නිසා කොයිම මොහොතකවත් මට කිරි නෑනේ කියලා මනසින් කඩා වැටෙන්න එපා.හැමවෙලේම හිතන්න මගේ පැටියාගේ බඩ පිරෙන්න මට කිරි තියෙනවා කියලා.

                                                                 පැටියා කිරි බොන්න හොරයි,හැමවෙලේම නිදිමතයි මේක තමයි අම්මලගේ ඊලග ගැටලුව.චූටි බබාලා අපේ බණ්ඩියේ සැපට දොයියන් ඉදලා තමයි එන්නේ.එයාලා තවම මේ පරිසරයට හුරු නෑ.ඒක නිසා එයාලා බලන්නේ දොයියන්න.ඒ ගැන හිතලා අලුත් අම්මලා හිත කලබල කරගන්නවා එහෙම නෙවෙයි.එයාලා තවම චූටියිනේ.

කිරි දෙන මවක් සැලකිය යුතු කරුණු

  • කිරිදෙන මවකගේ මනස සැහැල්ලුවෙන් තිබිය යුතුමයි.කිරි එරීමට මනස සෘජුවම බලපානවා වගේම මවගේ සිතුවලි පැටියාට බලපානවා.
  • තමාට කිරි නැතැයි කිසිම විටෙකත් සිතන්න එපා.හැමවෙලේම පැටියාගේ බඩ පිරෙන්න කිරි තියෙනවා කියලා හිතන්න.
  • හොද පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගන්න.මතක තියාගන්න ඔබ කිරි දෙන මවක් ඔබගේ පැටියා යැපෙන්නේ ඔබෙන්.ඒ නිසා අනිවාර්යෙන්ම සමබල ආහාර වේලක් ලබාගන්න.
  • හොදට වතුර බොන්න.කිරි එරීමට වතුර අත්‍යාවශ්‍යය බව ඔබ දන්නවාද?
  • හොද නින්දක් ලබාගන්න.කිරි දෙන මවකගේ මානසික පීඩනය අවම මට්ටමක තිබීමට නම් නින්ද අත්‍යාවශ්‍යයයි.
  • සැහැල්ලුවෙන් සතුටින් ඉන්න.හැකි නම් එලිමහනේ විවේකිව ඇවිදින්න යන්න.ඔබගේ මනස සැහැල්ලු වේවි.

                                                      උතුම් වූ මව් පදවිය පීඩනයක් කර නොගෙන සතුටින් විද දරාගන්න මේ ලිපියෙන් පොඩි හරි උදව්වක් ලැබෙන්න ඇති කියලා හිතනවා.තවත් ලිපියකින් හමුවෙනකම් සතුටින් ඉන්න.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *