දරුවෙක් නැත්තේ කලුකුමාර දෝෂය නිසා ද?

අපේ ලාංකිකයන්ගේ තියෙන දෙයක් තමයි වැදගත් අවස්ථාවකදී හෝ කිසියම් ගැටලුවක දී පරණ මතිමතාන්තර සහ මිත්‍යාමත ඉස්සරහට ඇදලා ගැනීම.මේවා හැම එකක්ම බොරු කියනවා නෙවෙයි.නමුත් බහුතරයක් මිත්‍යාමත.මේ දේවල් ඔලුවට අරගෙන පවුල් අවුල් වෙන අවස්ථාත් නැතිවාම නෙවෙයි.උදාහරණයක් විදියට ගත්තොත් මල්වර වීමකදී වෙලාවල් බලනවා,තරුණ යුවතියට මස් මාංශ අනුභවය තහනම් කරනවා.මේවායෙහි කිසිම විද්‍යාත්මක පදනමක් නෑ.ඇයට ඒ කාලයේ දී තමයි ශරීරයට පෝෂණය අත්‍යාවශ්‍යම වන්නේ.ඒ වගේ ම විවාහයක දී දෙදෙනාගේ අදහස් ගැලපෙනවා ද යන්නට වඩා වැඩිහිටියන් උත්සුක වන්නේ කේන්දර ගැලපෙනවාද යන්න බැලීමයි.කේන්දර ගැලපෙනවා නම් සේරම හරිය.එතනම පවුල ඉවරය.පොඩි ප්‍රශ්නයක් වූවත් කේන්දරය ඇදලා ගයි.වැටුණත්,ගහක අත්තක් කඩන් වැටුණත් ග්‍රහයා නීච වෙලාය.හෙනහුරා ලබලාය.හෙනහුරා ග්‍රහයා නොව ඔය මනස්ගාත තෙපලනා පුද්ගලයන් ය.ඔලුව අවුල් උනාට පස්සේ නිකන්ම හෙනහුරා ලබවනවාය.ඉතින් අද ලිපියෙන් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවේ දරුවන් නොමැති යුවලකට නිතරම කන වැකෙන මිත්‍යා අදහස් ටිකක්.

  • කලු කුමාර දෝෂය ඇති ඔය ලමයාට ඒක තමයි ලමයි නැත්තේ – දරුඵල ප්‍රමාද උනාම අපේ වැඩිහිටියන්ට අල්ලගන්නට ලේසිම මනුස්සයා කලුකුමාරයාය.මේ පුද්ගලයා ඉන්නේ වැඩිහිටියන්ගේ ඔලුවේය.මාසික ඔසප් වීම ක්‍රමවත් නැත්නම් ඒකටත් පලි කලුකුමාරයාය.ඇත්තටම කලු කමාරයා පව් ය.මේකට හේතුව කලු කුමාරයා නොව ගර්භාෂයේ පුශ්ණයකි.වෛද්‍ය විද්‍යාව අද දියුණුය.ඒ නිසා අහක ඉන්න කලු කුමාරයෙක් අල්ල ගන්නේ නැතිව වෛද්‍යවරයෙක් හම්බුණා නම් මනා ප්‍රතිපල ලබා ගත හැකිය.
  • හදහනේ දරුඵල නෑ ඒකයි ඔය – ඊලගට අල්ලා ගන්න ලේසිම සෞරග්‍රහ මණ්ඩලයේ සිටිනා අසරණ ග්‍රහයෝය.නැත්නම් අහක වැනෙන ගහක් ය.හදහනේ තියෙන ගහ අනුව දරුඵල තීරණය වේ.ගහේ කිරි ඇත්නම් දරුවන් සිටී.නැත්නම් දරුවන් නැත.සෙනසුරා ලබලා නම් ඒත් දරුවන් නැත්.මේ කතා කන වැකුනොත් නම් ඇත්තටම ඔලුව අවුල් වේ.එතැන් පටන් ග්‍රහයෝ පස්සේ යයි. ග්‍රහයෝ පස්සේ දුවන වෙලේ වෛද්‍යවරයෙක් පස්සේ දිව්වොත් යහපත් ප්‍රතිපලයක් ඉක්මනින් ලබා ගත හැකිය.
  • මූණේ කිසිම සිරියාවන්ත කමක් නෑඒකයි දරුවෙක් වත් නැත්තේ.- ඇත්තටම මට ලාංකික කාන්තාවන් ගැන දුකය.ඔවුන් තරම් නින්දා අපහාස විදින ජාතියක් තවත් නැත.සියල්ල විද දරා සිටී.ඉවසා සිටී.ලෝකයාට පේන්න සිනා සී හොරෙන් කදුලු සලයි.මූන බලා දරුවන් එන්නේ නැත.දරුවෙක් පිලිසිද ගැනීමට නම් සරු ඩිම්බයක් සහ සරු ශුක්‍රානුවක් තිබිය යුතුය.
  • කෙල්ලගේ තමයි ප්‍රශ්නෙ තියෙන්නේ-කලු කුමාරයාත් අල්ලගන්න ගොස් වැඩේ වරදින තැන ඊලගට දෝෂාරෝපණය එල්ල වන්නේ අසරණ කාන්තාවටය.පුදුමයට කරුණ නම් මෙසේ අසරණ කාන්තාවක් තව තවත් මානසික පීඩනයට ලක් කරන්නේ තවත් කාන්තාවක් වීමයි.මේ කාන්තාවන් නොදන්නවා උනාට පිරිමි පුද්ගලයාගේ මදසරු භාවය දරුවෙක් නොමැති වීමට බහුලවම බලපායි.

                                                                                            දරු පැටියෙක් නොමැති කාන්තාවන්ට,දරුවන් නොමැති යුවල වල් වලට මේ කතා නම් බහුලවම අහන්න ලැබෙනවා.අපේ වැඩිහිටියන් සමග තර්ක කරන්න ගියාමත් තියෙන ප්‍රශ්න තවත් වැඩිවෙයි.මෙයට හොදම විසදුම නම් එක කනකින් අහලා අනිත් කනෙන් පිට කිරීමයි.මේ මිත්‍යා විශ්වාස ඔලුවට දා ගැනීමෙන් හිතේ තියෙන පීඩනය වැඩි වෙනවා මිස අඩු වන්නේ නැත.නූතන වෛද්‍යවිද්‍යාව ඉතා දියුණුය.දරුවන් නොමැති වීමට ප්‍රතිකාර ඇත.ඒ නිසා ඔබට හුරතල් පැටියෙක් හුරතල් බැලිය හැක.හිතේ සතුටින් විශ්වාසයෙන් සිටින්න.කතාවකුත් තියෙනවානේ හොදම දේවල් ලැබෙන්නේ පරක්කු වෙලා කියලා.තවත් ලිපියකින් හමුවෙනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *