ගුණ කෑමයි පැටියට කිරි කළයයි

බලාපොරොත්තුවෙන් ඉදපු පුංචිපැටියා ඔන්න දැන් ලගට ඇවිත්. මුලු පවුලම සිරියාවන්ත කමින් පිරිලා ගිහින්.හැබැයි එක්කෙනෙක් නම් පොඩි හිත් කරදරයකින් ඉන්නේ.ඒ තමයි අම්මා.පැටියා හම්බෙලා මුල්ම කිරි බීවට පස්සේ පැටියා කිරි බොනවා හොරයි වගේ අම්මට දැනෙනවා.ඉතින් පැටියා බඩගින්නේ කියලා අම්මා ඉන්නේ හිතේ කනස්සල්ලෙන්.අද ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ මව් කිරි වඩවන ආහාර පාන ගැනයි.

 

               පැටියා මව් කුසෙන් එලියට ඇවිත් වැදෑමහ ගර්භාෂයෙන් වෙන් වූ විට කිරි නිපදවීම ආරම්භ වෙනවා.මේ ලෝකේ කිරි නිෂ්පාදනය කරන කර්මාන්තශාලා කොතරම් තිබුණද අපූර්වතම කිරි නිපදවන කර්මාන්තශාලාව පියයුරයි.අම්මාට එරෙන මුල්ම කිරි පැරැන්නෝ හැදින්වූයේ රන්කිරි ලෙසයි.ඒ කතාව නම් ඇත්තම කතාවක්.මුල්ම කිරි ටික රත්තරන්.මේ කිරි රන්කිරි ලෙස හදුන්වන්න එක හේතුවක් තමයි අම්මාට එරෙන මුල්ම කිරි ටික රන්පැහැ හෙවත් කහපැහැති වීම.එලෙස හදුන්වන්න පුධානම හේතුව තමයි මේ මුල් කිරි ටිකේ පැටියාට අවශ්‍යය ආහාර පෝෂක,විටමින් වර්ග,රෝග වලින් ආරක්ෂා කිරීමට අවශ්‍යය ශක්තිය හා පමණට ජලය නොඅඩුව ගැබ්ව පවතිනවා.මේ නිසා පැටියා මේ ලෝකෙට ආවට පස්සේ හැකි ඉක්මනින් එනම් පැය භාගයක් ඇතුලත මුල් කිරි ටික පැටියාට දීම අනිවාර්ය්‍යයි.වැඩිහිටියන්ගේ කටවහරෙන් කියන මේ රන්කිරි විද්‍යාත්මකව හදුන්වන්නේ කොලෙස්ට්රෙම්  ලෙසයි.අපි දැන් බලමු කිරි එරෙන ආහාර වර්ග මොනවාද කියලා.හැබැයි ඊට කලින් මතක තියාගන්න ඕන වැදගත්ම කාරණය තමයි දරුවා කිරි උරන තරමට තමයි කිරි නිපදවීම සිදුවෙන්නේ,මොකද දරුවා කිරි උරන සෑමවිටම මවගේ මොලයට පණිවිඩයක් යැවෙන නිසා.මතක තියාගන්න අඩන්න ඕන කිරි එරෙන්න නෙවෙයි.උරන්න ඕන කිරි එරෙන්න.

කිරි අගුණ සහ තිත්ත අගුණ

නම අගුණ උනාට මේක නම් පුදුම ගුණ කෑමක්.ගමේ ගොඩේ නම් පැටියෙක් ආවාම වැඩිහිටියන් බලන්නේම මේ ගුණකෑම දෙන්න.මොකද පැටියාගේ කුස පුරවන එක අම්මාගේ වගකීමක් උනාට පවුලේ හැමෝම මේ බර කරට අරගෙනයි ඉන්නේ.බොහෝ ගුණ ඇති මේ අගුණ කොළ සම්බෝලය හෝ මැල්ලුමකට මේ කොල එකතු කර ගැනීමෙන් කළ ගණන් කිරි එරවා ගන්න පුලුවන්.

ජපන් බටු කොළ හෙවත් සිංගප්පූරු කොළ

වැඩිහිටියන් අතර කිරි එරවා ගන්න පචලිත ආහාරයක් තමයි මේ ජපන් බටුකොළ.ජපන් බටුකොළ වල ඇති මව්කිරි නිපදවීමේ හැකියාව ගැන මෑතකදි කළ විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තියෙනවා.මෙම කොළ කලවම් පලා ව්‍යාංජනයට එක් කරගත හැකි රසවත් ගුණවත් පලා වර්ගයක්.නමුත් මෙම කොළ අමුවෙන් ගැනීමේ අතුරු ප්රතිපලය ලෙස ශ්වසන ආබාධ ඇතිවන බව කියවෙන නිසා අමු සම්බෝල හෝ යුෂ පානයෙන් වැළකිය යුතුයි.

කොස්

ගහ යටින් ගියත් කිරි එරවෙන අරුම පුදුම මැජික් ගහ.ගෙඩිය පොඩි කාලේ පොලොස් ලොකු වෙනකොට කොස්.ගෙඩිය මොන කාලයේ දි උනත් මැල්ලුම් පොලොස්,පොලොස් ඇබුල,කිරිකොස්,කොස් මැල්ලුම් යනාදි මොන විදියකට සකස් කර ගත්තත් කිරි දෙන මවට දීමෙන් වඩ වඩාත් කිරි එරවා ගන්න පුලුවන්.නමුත් කොස් වාතය ඇතිකිරීමට හැකි බැවින් සුදුලූණු , ගම්මිරිස් දමා සකස් කර ගැනීමෙන් එම ගතිය මග හරවා ගත හැක.

තැම්බුම් හොදි

ඉස්සර කාලයේ නම් දරුවෙක් බිහි කරපු අම්මෙක්ට මුලින් ම දුන්නේ මේ තැම්බුම් හොද්ද.දරුවා බිහි උනාට පස්සේ අම්මා ඉන්නේ ගොඩාක් වෙහෙසෙන්.මේ වෙහෙස නැති කරන්නත්,තුවාල ඉක්මනින් සුව කිරීමටත්,දරු උපතෙන් පසු ගර්භාෂයේ ඉතිරි වූ පටක සහ රුධිර කැටි ඉවත් කර ගර්භාෂය සංකෝචනය කිරීම,මෙන්ම කිරි එරවීම උත්තේජනය යන බහුවිධ ගුණයන්ගෙන් යුක්ත මේ තැම්බුම් හොද්ද මහරග ඖෂධයක්.කිරි දෙන කාලයේ ඔබට හැකි නම් සතියකට එක් වරක් හෝ තැම්බුම් හොද්ද පානය කරන්න,ඔබේ පැටියාට බංඩිය පිරෙන්න කිරි නම් ලැබේවි.

සුදුලූණු

දරු උපතෙන් පසු පලමු දින කිහිපයේ දි පිළිස්සූ සුදුලූණු සමග කිතුල් හකුරු දීම පැරණි කාලයේ සිට පැවත එන දෙයක්.මෙලෙස ලබාදීමේ මූලික පරමාර්ථය තමයි ම්කිරි සාවය උත්තේජනය කිරීම සහ එහි දීර්ඝකාලීන පවත්වා ගැනීමයි.සුදුලූණු වල මෙන්ම කිතුල් හකුරු වලත් මව්කිරි නිපදවීමේ හැකියාව ඇති නිසා මෙය නම් මහගු ඖෂධයක්.එමෙන්ම සෑම ව්‍යාංජනයකට සුදුලූණු එක් කරගැනීමෙන් කිරි නිපදවීමේ හැකියාව වැඩිවෙනවා.සුදුලූණු වලට අමතරව උලුහාල්,සූදුරු,මහදුරු,කොත්තමල්ලි එකට තම්බා දීමෙන් කිරි කල හතක් පැටියාට පොවන්න පුලුවන් කියලා තමයි පැරැන්නෝ නම් කීවේ.

                                          මෙයටඅමතරව තම සිගිත්තා වෙනුවෙන් ලෙය කිරට හරවන ඔබට ගත හැකි ආහාර වර්ග නම් බොහෝමයි.ඒවා නම්

·         කරවිල

·         කිරිහැන්ද

·         කෙසෙල් මුව

·         කුරක්කන්

·         හබල පෙති

·         කොත්තමල්ලි

·         බතල

·         රාජ අල

·         රතුලූණු

·         මුරුංගා

·         අමුපැපොල්

·         වට්ටක්කා

·         නෙලුම් අල

·         මෙනේරි මුංඇට වැනි ධාන්‍ය වර්ග

·         කිරිමෝරු

·         කුඩාමාලු

 

                                            මේ සදහන් කරපු ආහාර වර්ගත් සමග පෝෂ්‍යදායි සමබර ආහාර වේලක් සමග නිසියාකාරව වතුර බොනවා නම් ඔයාගේ පැටියාගේ බංඩිය පිරෙන්න කිරි කල හතක් එරෙනවා නොඅනුමානයි.එහෙනම් තවත් ලිපියකින් මුණගැහෙනකම් පරිස්සමෙන් ඉන්න.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *